Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

පසුබිම

2000 වර්ෂයේ දෙවන කාර්තුවේදී හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වෙන් කොට පිහිටුවන ලද ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රයිගම් කෝරළයේ නැගෙනහිර කලාපයට අයත් උඩුගහ පත්තුවේ මාවක් ඔයට නැගෙනහිරින් ග්‍රාම සේවා වසම් 31ක් තුළ හෙක්ටයාර් 9204 ක භූමි භාගයක විහිදී ඇත. දිය දහර කදු හෙල් තැනිතලා හා මිටියාවත් යන සියළු භූ විෂමතාවන්ගෙන් සැදුම්ලත් මෙකී බිම් ප්‍රදේශය ඉතා සුන්දර වූත් රමණීය වූත් ප්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. මෙම කලාපයේ ප්‍රධාන මං සන්ධිය ඉංගිරිය වන අතර පෝරුවදණ්ඩ හා හඳපාන්ගොඩ උප මංසන්ධි වේ.

සබරගමු කඳු වැටිවල ඉම, ඉංගිරිය ප්‍රදේශයෙන් අවසන් වන බැවින් ඉමගිර, ඉංගිරිය වශයෙන් බිදීවිත් ඉංගිරිය යන නම ලැබුණ බව ජනප්‍රවාදයේ කියවේ. ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ඉංගිරිය නගරය සුදු අධිරාජ්‍ය වාදීන්ගේ වතු වගා ආරම්භයේ බිහි වූ නගරයකි. එහෙත් ඉංගිරියට තදාසන්නව පිහිටි ඌරුගල නම්බපාන ග්‍රාමයන් කළු ගංගා මිටියාවත පිහිටි සිංහල රජ සමයට නෑකම් කියන ගම් දෙකකි. අතීතයේ බඩු ප්‍රවාහන කටයුතු ගංගා මාර්ගයෙන් සිදු වී ඇති නිසා රත්නපුර ප්‍රදේශයෙන් කළුතර, පානදුර ප්‍රදේශයන්ට භාණ්ඩ ප්‍රවාහනය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණ, ගිණිකොන මායිම් ආශ්‍රිතව ගලායන කළුගඟ ආශ්‍රයෙන් සිදුවීම නිසාත් එකී මිටියාවතේ පිහිටි ඉහත ගම්මාන වල ඈත අතීතයේ සිට මිනිස් වාසස්ථාන බිහි වී ඇති බව පෙනේ.

මෙයින් ඌරුගල ග්‍රාමයේ ගිණිකොන මිටියාවතේ පිහිටි දැකුම්කළු ස්ථානයක  (වක්කලම) සබරගමු ප්‍රදේශයේ සිට පැමිණි පාරු තොටුපලක් පැවති අතර එය අදට ද කලාතුරකින් එන පාරුකරුවන්ගේ ගිමන්හලකි. එකී වක්කලම ඉවුරේ ඇති ගල නිසා මෙම ඉපැරණි ග්‍රාමයට " ඉවුරේ ගල " පසුව උච්චාරණයේ පහසුවට ඌරුගල වූ බව පෙනේ. එකී ඌරුගල ග්‍රාමයට අයත් භූමි ප්‍රදේශයෙන් කොටසක් ඉංගිරිය වශයෙන් නම් කර ඉංග්‍රීසි පාලන සමයේ ඇති කළ ප්‍රධාන මංමාවත් වන පානදුර - රත්නපුර මාර්ගයට හංවැල්ලේ සිට තැනවූ මාර්ගය එකතු වන හංදිය ඉංගිරිය වශයෙන් ප්‍රසිද්ධ වූ බව පෙනේ. වර්තමානයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන ඉංගිරිය නගරයේ සිට රත්නපුර, හොරණ, පානදුර, දක්වා ද පාදුක්ක, හෝමාගම, කොළඹ දක්වා ද බුලත්සිංහල මාර්ගය ඔස්සේ දකුණේ නගර කරා යාමට ද ඉතා පහසු හා කඩිනම් මාර්ග පද්ධතියක් නගරය කේන්ද්‍ර කොට පිහිටුවා ඇත.

ප්‍රදේශයේ උතුරු හා බටහිර දෙසින් පිහිටි මාවක් ඔය මිටියාවත විශාල වෙල්යායන් ආශ්‍රිතව පිහිටි අරකාවිල, හදපාන්ගොඩ, පෝරුවදණ්ඩ වැනි ගම්මාන කෝට්ටේ හා සීතාවක රාජධානි වලට ද නෑකම් කියූ ගම්මාන වේ. තවද ඉංගිරිය ඇල මිටියාවත ද මහ ඉංගිරිය මානාන වැනි පැරණි ජනාවාස තිබූ බව  ඉතිහාසයෙන් පෙනේ. අනෙක් සියළු ජනාවාස ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආශ්‍රිතව බිහි වී ඇති අතර 1815 න් පසු විශාල තේ, පොල්, රබර් වගාවන් සදහා දකුණු ඉන්දියාවෙන් ගෙන් වූ දෙමළ ජාතීන්ගේ ජනාවාස වී ඇත.

1972 ඉඩම් පනත යටතේ මෙකී වතු විදේශ ආධිපත්‍යයෙන් මුදා ගැනීමෙන් අනතුරුව ඉහත විශාල වතු ජනතාව අතර කැබලි කොට බෙදාදීම තුළ ඉංගිරිය නගරය තදාසන්නව විශාල ජනගහනයක් ඒකරාශී වේ. පාරිසරික ගැටළු ද බොහෝ සේ වැඩි වෙමින් පවතී.

මෙම කලාපය තුළ උතුරු, ඊසාන හා නැගෙනහිර ප්‍රදේශයන්හි පිහිටි කදු වැටි වලින් පටන්ගෙන දකුණු ගිණිකොන දෙසට ගලා බැස කළු ගගට එකතුවන ප්‍රධාන ඇලවල් තුනකි. එයින් විශාලතම හා කොට්ඨාසය පුරාම වසාගෙන ගලා යන්නේ මාවක් ඔය වන අතර මඩකඩ මූකලාන මැදින්  නම්බපාන ඇල  (නාච්චිමලේ දොල) අති සුන්දර දොළ පහරක් වී තිබේ. එහි මැද භාගයේ වම් ඉවුරේ ඇති සේනාසනය (නාච්චිමලේ) දෙස් විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයන්ගේ සිත් වශී කරන රමණීය භූමි භාගයකි. විවිධ වර්ගයේ වෘක්ෂලතා හා ප්‍රදේශයට ආවේණික කුරුළු වර්ග මෙම රක්ෂිත භූමි භාගයේ සුන්දර බව තීව්‍ර කරයි. ගල් කුළු අතරින් ගලා බසිනා මෙම දොළ පහර තුළ ජීවත්වන  මත්ස්‍ය විශේෂ බොහොමයක් වන අතර වියළි කාලයන්හිදී මෙහි පැහැදිලි ඉතා පිරිසිදු දිය නෑමට ජනතාව ද දහස් ගණනින් ඇදී එති. මෙයට අමතරව දොඹගස්කන්ද බටහිර බෑවුමේ පිහිටා ඇති බෝධිනාගල ආරණ්‍ය සේනාසනය ද මෙම ප්‍රදේශයේ ඇති සුන්දර ස්ථානයකි. එහි දකුණු මායිමෙන් ගලා බස්නා කළු ගංගා කොමලිය එහි සුන්දරත්වය වඩාත් වැඩි කරවන්නීය.

ප්‍රදේශය තුළ පිහිටි ප්‍රධාන විහාරස්ථාන අතරින් හඳපාන්ගොඩ ගනේ විහාරය, රත්මල්ගොඩ සාංඝිකාරාමය, ඉංගිරිය දීපාලෝක විහාරය හා ඌරුගල තපෝධනාරාමය මූලික තැනක් ගනී. මෙම විහාරස්ථාන 19 වන සියවසේ අග භාගය තරම් ඉතිහාසයකට උරුමකම් කියන අතර ඒ හා අනුබද්ධිතව බෞද්ධ මිශ්‍රපාඨශාලා  වශයෙන් ආරම්භ වූ පාසල් අද වඩාත් දියුණු තත්ත්වයක පවතී. මෙසේ ආරම්භ වී දැනට ප්‍රදේශයේ දියුණුවට පත් පාසල් අතර ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, මාපුටුගල මහා විද්‍යාලය හා හඳපාන්ගොඩ මහා විද්‍යාලය මූලික තැනක් ගනී. ඉංගිරිය අවට පිහිටි විශාල වතු කේන්ද්‍ර කොට පිහිටුවා ඇති ඉංගිරිය දිසා රෝහල ඉංග්‍රීසි ජාතිකයන් විසින් 20 වන සියවසේ මුල් කාර්තුව තුළ පිහිට වූ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් තියෙන රෝහලකි.

ප්‍රදේශය තුළ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන අතර වතු කේන්ද්‍ර කොට ගත් හින්දු ආගමික ද්‍රවිඩ ජනතාවක්ද ඉතා සුළු වශයෙන් ජීවත් වෙති. කොළඹ යුගයේ කවීන් අතර ජනාදරයට පත් වූ කවිතිලක ධර්මසිරි හරිස්චන්ද්‍ර කිවිදුන් ඉංගිරිය ගාල්ලෙගම ප්‍රදේශයෙන්ද උපනන්ද බටුගෙදර කිවිදුන් හදපාන්ගොඩ ප්‍රදේශයෙන් ද බිහි වී මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විචිත්‍රවත් කිරීමේ කවිවරු වෙති. තවද ඌරුගල දයාසේන ගුණසිංහ  මෙම ප්‍රදේශයේ බිහි වූ විශිෂ්ට ගණයේ පුවත්පත් ගත් කතුවරයෙක් හා  කිවියෙක් වූ අතර ඉංගිරියේ මුනිදාස සෙනරත් යාපා මැතිදුන් ද ප්‍රබුද්ධ ගත් කතුවරයෙකි.

තේ රබර් වගාවන් මූලික කොටගත් ව්‍යාපාර මගින් ජීවනෝපාය සකසා ගන්නා ජනතාවක් මෙන්ම එයට අනුපාතිකව වී වගාව හා ගෙවතු වගාව තම රැකියා මාර්ගය කර ගත්  පිරිසක් මෙහි වාසය කරන අතර පසුගිය දශක දෙක තුළ සීඝ්‍ර ලෙස සිදු වූ කාර්මීකරණය තුළ බිහිවූ මහා පරිමාණ ඇගළුම් කර්මාන්ත ආශ්‍රිතව ජීවනෝපාය සකසා ගන්නා ගැමි  අර්ධ නාගරික කාන්තා ජනතාවක් ප්‍රදේශය තුළ වැඩි වශයෙන් ජීවත් වෙති.

මෙයට අමතරව ඉතා සුළු කොටසක් විදේශ රැකියා තුලින් ද  සාමාන්‍ය පිරිසක් රජයේ හා අනුබද්ධිත වෙනත් රැකියා මගින් ද වඩු පෙදරේරු කර්මාන්ත තුලින් හා ඒ හා බැදුණු දැව, වැලි ගොඩ දැමීම් ආදී කර්මාන්ත මගින් ද    ජීවනෝපාය සකසා ගනිති.

මහා පරිමාණ කර්මාන්ත හෝ ඒ හා සමාන සශ්‍රීක වගා බිම් නොවූවද ඉතා පිරිසිදු වාතාශ්‍රයෙන් හා ජලයෙන් ස්වයං පෝෂිත වූ ප්‍රදේශයේ ජනතාව අර්ධ ග්‍රාමීයවත්, අර්ධ නාගරීකරණය යටතේ සාමකාමී සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන්නෝ වෙති.